මුල් පිටුව
විමල් වීරවංශ යුද අධිකරණ බිල්ලා පෙන්වමින් ජනතා ප්‍රශ්න යට ගැසුවද රනිල් එදා ජාත්‍යන්තර රෝම ප්‍රඥප්තියට අත්සන් කිරීම ප්‍රතික්‌ෂේප කළ නිසා කිසිවකු යුද අධිකරණයට ගෙන යා නොහැකියි - තිස්‌ස අත්තනායක මුද්‍රණය කරන්න ඉ-තැපැල්
Wednesday, 14 July 2010
Image

විමල් වීරවංශ ප්‍රමුඛ ආණ්‌ඩුව යුද අධිකරණය නමැති බිල්ලා ඔසවා පෙන්වමින් ජනතා ප්‍රශ්න යට ගැසීමට උත්සාහ කළ ද රනිල් වික්‍රමසිංහ මහතා එදා අගමැතිවරයා ලෙස ජාත්‍යන්තර රෝම ප්‍රඥප්තියට අත්සන් කිරීම ප්‍රතික්‌ෂේප කළ නිසා ශ්‍රී ලංකාවේ කිසිදු පුරවැසියකු හෝ රණවිරුවකු ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යා නොහැකි බව එක්‌සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතා පැවැසීය.

 

මේ අනුව තවදුරටත් යුද අධිකරණය සම්බන්ධව ගෙන යන අසත්‍ය ප්‍රචාරවලට නොරැවැටෙන ලෙස සිය පක්‍ෂය සමස්‌ථ ජනතාවගෙන් ඉල්ලා සිටින බව හෙතෙම පැවැසීය.

කොළඹ මාකස්‌ ප්‍රනාන්දු මාවතේ විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ (13 වැනිදා) පැවැති පුවත්පත් සාකච්ඡාවේදී මේ බව අනාවරණය කළ තිස්‌ස අත්තනායක මහතා මෙසේද කීය.

ජනතාවට සහන මිලට ඉස්‌තරම් වර්ගයේ ඉන්ධන සැපයීමේ අරමුණින් ආරම්භ කළ තෙල් සංස්‌ථාව පාලන අධිකාරියේ අදූරදර්ශී සහ අකාර්යක්‌ෂම පාලනය ද දූෂණ වංචා සහ අක්‍රමිකතා හේතුවෙන් ද උග්‍ර අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබෙනවා. ලෝක වෙළෙඳපොළෙන් අඩු මිලට ඉන්ධන මිලදී ගෙන අපේ රටේ ඒ ඉන්ධන නැවත සුද්දකොට ඊට නිෂ්පාදන වියදම් ද එකතු කරමින් ජනතාවට සහ ඒ ඒ ආයතනයන්වලට අලෙවි කරමින් රුපියල් කෝටි ගණන් ලාභ උපයා ජාතික ආර්ථිකයට මහඟු දායකත්වයක්‌ දුන් තෙල් සංස්‌ථාව මෙසේ පාඩු ලැබීම සම්බන්ධයෙන් ආණ්‌ඩුව වගකිව යුතුයි.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් අඩුවී ඒ මිල ගණන් ස්‌ථාවර තත්ත්වයක පවතිද්දී ආණ්‌ඩුව ඒ සහනය ජනතාවට නොදී පෙට්‍රල් ලීටරයකින් රුපියල් 55 ක අධික ලාභයක්‌ උපයනවා. දූෂණ, වංචා සහ අක්‍රමිකතා හේතුවෙන් තෙල් සංස්‌ථාවේ සිදුවන පාඩුවට වන්දි ගෙවීමට සිදුව තිබෙන්නේ ජනතාවටයි.

තෙල් සංස්‌ථාව මගින් ආනයනය කෙරුණු පෙට්‍රල් තොගවල යකඩ මිශ්‍ර වී තිබෙන බව ද, ඩීසල් තොගවල වතුර මිශ්‍ර වී තිබෙන බවද, කර්මාන්තශාලා සඳහා යොදා ගැනෙන කළුතෙල් නියමිත ප්‍රමිතියෙන් තොර බව ද මේ වනවිට හෙළි වී තිබෙනවා. තෙල් සංස්‌ථාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ගුවන් සේවාව ආදී අධික ලෙස ලාභ උපයමින් ජාතික ආර්ථිකයට උරදුන් මේ ආයතන පාඩු වී මෙසේ කඩා වැටී ජනතාවට බරක්‌ වී තිබෙන්නේ ආණ්‌ඩුවේ දේශපාලන ඇඟිලි ගැසීම්, දූෂණ, වංචා සහ අක්‍රමිකතා නිසයි.

එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පත් කළ උපදේශක කමිටුවට එරෙහිව එම සංවිධානය කොළඹ කාර්යාලය වටලා විමල් වීරවංශ සිදු කළ උද්ඝෝෂණ ව්‍යාපාරය මේ වනවිට සම්පූර්ණයෙන්ම හුලං බැස තිබෙනවා.

එක්‌සත් ජාතීන්ගේ සංවිධානය මගින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පත්කෙරුණු මේ උපදේශක කමිටුව මාර්ගයෙන් අපේ වීරෝදාර රණවිරුවන් යුද අධිකරණය ඉදිරියට පමුණුවාලීමේ කුමන්ත්‍රණයක්‌ තිබෙන බවට චෝaදනා එල්ල කරමින් ආණ්‌ඩුව ජනතාව රවටා සියලු ප්‍රශ්න මගහරිමින් සිටිනවා. කෙසේ නමුත් ජාත්‍යන්තර යුද අධිකරණයට අදාළ ගිවිසුමට අත්සන් කිරීම තරයේ ප්‍රතික්‌ෂේප කිරීමට අග්‍රාමාත්‍යවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා එදා ගත් ඒ ඓතිහාසික තීන්දුව නිසා අපේ රටේ කිසිදු රණවිරුවකු හෝ පුරවැසියෙකු ජාත්‍යන්තර යුද අධිකරණය ඉදිරියට කැඳවීමේ හැකියාවක්‌ ඇත්තේ නැහැ. ඒ අනුව ජාත්‍යන්තර යුද අධිකරණ බිල්ලා මවා ආණ්‌ඩුවත්, විමල් වීරවංශලාත් උත්සාහ කරන්නේ රටත්, ජනතාවත් මුහුණ දී සිටින ප්‍රශ්න මඟහැර ජනතාවගේ අවධානය වෙනත් දිසාවකට යොමු කරවීමටයි. සිය ඉල්ලීම්වලින් වැඩි ගණනක්‌ ඉටුවූ නිසා මාරාන්තික උපවාසය අත්හල බවට පම්පෝරි ගසන විමල් වීරවංශගෙන් අප ප්‍රශ්න කරන්නේ ඒ ඉටුවූ ඉල්ලීම් මොනවාද යන්න පිළිබඳවයි. ඒමන්ද එක්‌සත් ජාතීන්ගේ සංවිධානය මගින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පත්කෙරුණු උපදේශක කමිටුව තවමත් තිබෙන අතර, ඒ කමිටුව සිය විමර්ශන කටයුතු ද සිදු කරමින් සිටිනවා. ඒ අනුව එක්‌සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය වටලා විමල් වීරවංශ කළ රංගනයෙන් සිදුවූයේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් අතිශය අපකීර්තියට පත්වීම සහ එමගින් සිදුවූ පාඩුවට ජනතාවට කරගැසීමට සිදුවීමයි.

මේ රටේ මානව හිමිකම් උල්ලංඝනය කෙරෙන හෙයින් ආධාර ලබාදීම වහාම නවත්වන්නැයිද ආධාර ලබා දෙන්නේ නම් ඊට අදාළ මානව හිමිකම් ආරක්‌ෂා කිරීම පිළිබඳ කොන්දේසි පණවන්නැයිද මහින්ද රාජපක්‍ෂ මහතා විපක්‍ෂයේ මන්ත්‍රීවරයකු වශයෙන් ජාත්‍යන්තරයෙන් එදා ඉල්ලා සිටියා අපට මතකයි. රටේ ජනතාවගේ මානව හිමිකම් ආරක්‌ෂා කිරීම වෙනුවෙන් ජාත්‍යන්තරයෙන් එබඳු ඉල්ලීමක්‌ කිරීම කිසිදු ප්‍රශ්නයක්‌ නැතැයි මහින්ද රාජපක්‍ෂ පාර්ලිමේන්තුවේදී එදා පැහැදිලිව කියා සිටියා.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකොට පාර්ලිමේන්තුවට වග කියන විධායක අගැමති ක්‍රමයක්‌ ඇති කිරීම පළාත් පාලන ක්‍රමය සංශෝධනය කිරීම සහ 17 වන ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය යටතේ ව්‍යවස්‌ථා සභාව පිහිටුවා ස්‌වාධීන කොමිෂන් සභා සක්‍රීය කිරීම සම්බන්ධයෙන් රජය සහ ප්‍රධාන විපක්‍ෂය වන එක්‌සත් ජාතික පක්‍ෂය අතර සාකච්ඡා ආරම්භ වී තිබෙනවා.

කෙසේ නමුත් මේ අරමුණු වෙනුවෙන්ද දේශපාලන සිරකරුවෙකු වශයෙන් සිටින ජනරාල් සරත් ෆොන්සේකා මහතා වහාම නිදහස්‌ කරන ලෙස ඉල්ලමින්ද රට පුරා අප ආරම්භ කළ උද්ඝෝෂණ ව්‍යාපාරය අඛණ්‌ඩවම ඉදිරියට ගෙන යනවා.

 
< පසුපසට   ඉදිරියට >

Image Image

 

Image
 
Image

සිංහල යුනිකේත සහාය

This web site uses Sinhala Unicode and you can download the unicode support from www.fonts.lk
Download Sinhala Unicode Support
Download Unicode Installation Guide (PDF)
Sinhala | English

ලියාපදිංචි වන්න






රහස් පදය අමතකද?
ගිණුමක් නොමැතිද? ලියාපදිංචිය

Syndicate

Image
 
Image
Image
Image