|
එක්‌සත් ජාතීන්ගේ ක්‍රියා කලාපයට වගකිවයුත්තේ වත්මන් රජයයි - රනිල් වික්‍රමසිංහ |
|
|
|
Wednesday, 14 July 2010 |
 රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිකර බඩු මිල අඩු කරන ලෙස රජයට බල කිරීමට එ.ජා.ප.ය කටයුතු කරගෙන යන අතර මේ සඳහා ජනතාව දැනුවත් කිරීමට බිම් මට්‌ටමින් උද්ඝෝෂණ පවත්වන බව විපක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කළුතරදී පැවැසීය.
කළුතර දිස්‌ත්‍රික්‌කයේ එ.ජා.ප. පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා කළුතර ගාඩ්න් බීච් සංචාරක හෝටලයේ පැවැති සම්මන්ත්‍රණයකදී ඒ මහතා එසේ පැවැසීය.
මෙහිදී තවදුරටත් කතා කළ විපක්‌ෂ නායකවරයා ,
මේ රටේ කිසිම රණවිරුවකු විදේශීය රටක යුද අධිකරණයකට ගෙන යන්න බැහැ. 2002 වසරේදී අපේ රජය ඒ සඳහා අවශ්‍ය කටයුතු කර තිබෙනවා.
අද රටේ පවතින මේ තත්ත්වයට රජය වග කියන්න ඕනෑ. එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන්කී මූන් ඉකුත් වසරේ ලංකාවට පැමිණියා.
රජය මහ ඉහළින් පිළිගත්තා. විපක්‌ෂයේ කාටවත් මහ ලේකම් හමුවීමට හෝ සාකච්ඡා කිරීමට රජය ඉඩ දුන්නේ නැහැ. රජය ඔහු සමග එකඟවූ අයුරින් අද ත්‍රිපුද්ගල කොමිසමක් පත්කර තිබෙනවා. ඒ තත්ත්වයට පත් කළේ අප නොවෙයි. වත්මන් ජනාධිපතිවරයායි.
මේ පිළිබඳ ප්‍රසිද්ධ විවාදයකට එන්න කියා ජනාධිපතිවරයාට අභියෝග කරනවා. පාර්ලිමේන්තුවේදී මේ ප්‍රශ්න කතා කරනවිට මට වතුර බෝතල්වලින් දමා ගහනවා. අපි බඩු මිල අඩුකර වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණ ව්‍යාපාරයක් ගෙන යන්න ඕනෑ යෑයිද විපක්‌ෂනායකවරයා කීය.
විපක්‌ෂනායකවරයා කතාකර සභාවෙන් පිට වී යැමත් සමගම රැස්‌වීම් ශාලාවේ නොසන්සුන් තාවයක් ඇතිවූ අතර මතුගම මැතිවරණ කොට්‌ඨාසයෙන් පැමිණි මහජන නියෝජිතයන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා බන්ධනාගාරයෙන් නිදහස් කර ගැනීමට පක්‌ෂය ගත් ඇල්මැරුණු ක්‍රියා කලාපය හෙළා දකිමින් කතා කළහ.
මතුගම මැතිවරණ කොට්‌ඨාසයේ කිසිම එජාප උද්ඝෝෂණයකට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු සහභාගි නොවන බව මෙහිදී ඔවුහු ප්‍රකාශ කළහ.
එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු සමග සුහද සාකච්ඡාවක පවා නිරත නොවී පක්‌ෂ නායකයා කතාව අවසන් කළ සැණින් පිට වී යැම ගැන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු මෙහිදී සිය කණස්‌සල්ල පළ කළහ.
පක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පළාත් පාලන මන්ත්‍රීවරු සමග වෙන දිනයකදී සාකච්ඡා හමුවක් පවත්වන බව බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී ලක්‍ෂමන් විඡේමාන්න මහතා ප්‍රකාශ කිරීමෙන් අනතුරුව නොසන්සුන්කාරි තත්ත්වය පහව ගියේය.
මෙම රැස්‌වීම අමතා එජාප නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා කතාද කළේය.
|